Previous Next

ශ්‍රී ලංකාවේ විශාලතම covid 19 PCR රසායනාගාරය විවෘත වේ

ශ්‍රී ලංකාවේ විශාලතම Covid 19 PCR රසායනාගාරය ජූනි මස 24 දින මුල්ලේරියාව නැගෙනහිර කොළඹ රෝහලේ දී විවෘත විය. එය විවෘත කරනු ලැබුවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි. මෙම පරීක්ෂණාගාරය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.මෙම ව්‍යාපෘතිය, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) මඟින් ක්‍රියාවට නංවනු ලැබීය.

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 15 කි. නැගෙනහිර මූලික රෝහලේ ඉදිකරනු ලැබූ PCR රසායනාගාරයට පැය 12ක් තුළදී ආසාදිතයින් පන්සීයක් පරික්ෂා කිරීමේ හැකියාව පවතී. එය මෙරට තිබෙන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් එකවර පරීක්ෂා කිරීමේ හැකියාව තිබෙන රසායනාගාරය වේ. ආසාදිතයින් පරික්ෂා කිරීමට අමතරව ජංගම ඒකක මගින් ජීව සාම්පල එකතු කර මෙම රසායනාගාරයට රැගෙනවිත් පරීක්ෂා කිරීමටද සැලසුම් කර තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස  ව්‍යාප්තිය පාලනය කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් නිර්දේශකර තිබේ. ප්‍රජාව අතර වෛරසය පැතිරයාමේ අවදානම වැඩි වුවහොත් විශාල ආසාදිතයින්  ප්‍රමාණයක් එකවර පරික්ෂා කිරීමේ අවශ්‍යතාවය මතුවිය හැකි බවට මේ වන විට අනතුරු හඟවා තිබේ. දැනට මෙම PCR පරීක්ෂණ පහසුකම්, MRI, NIID, කරාපිටිය, අනුරාධපුර සහ නුවර රෝහල් සතුව තිබේ. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය(HSEP)  , ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යමය දායකත්වයෙන් ‍ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නැංවේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා  අමාත්‍යාංශයේ ලේකම්  මේජර් ජෙනරාල් වෛද්‍ය S.H. මුණසිංහ මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික  නියෝජිත මහතා ද සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ඇතුලු කාර්ය මණ්ඩලය ද සහභාගි විය.