සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් | පොකුරු රෝහල් පිහිටුවීම : දැනුවත් කිරීමේ වැඩසටහන අවසන්

      

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය(HSEP) යටතේ ක්‍රියාවට නැංවෙන, පොකුරු රෝහල සහ පොකුරු සෞඛ්‍ය සේවා ස්ථාපිත කිරීමේ වැඩ සටහනේ පළමු අදියර වන “පොකුරු සෞඛ්‍ය සේවා සංකල්පය” සහ එය ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබඳව, මෙම ව්‍යාපෘතිය  ක්‍රියාවට නැංවෙන පළාත්වල, සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධව විවිධ පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ  සැලසුම් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත. මෙම වැඩසටහන පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සම්බන්ධිකරනය කරන ලද අතර මෙම වැඩසටහන සම්බන්ධිකරනය සදහා ව්‍යාපෘතිය මගින් බදවා ගෙන ඇති උපදේශිකාවක් කටයුතු කරනු ලබයි.

පොකුරු සෞඛ්‍ය සේවා සංකල්පය සහ එය  ක්‍රියාවට නැංවෙන ආකාරය සැලසුම් කිරීම, ඊට සම්බන්ධ වන සියලුම පාර්ශවකරුවන්ගේ  සක්‍රීය සහභාගිත්වයෙන් මධ්‍යම, උතුරුමැද ,සබරගමුව සහ ඌව පළාත්වල පවත්වනු ලැබූ වැඩමුළු මාලාවක් මගින් සිදුකළ බව එම උපදේශිකාව තවදුරටත් සඳහන් කළාය. මෙම වැඩමුළු වල දී පොකුණු රෝහල් සංකල්පයේ ශක්තීන්, අවස්ථා සහ  ක්‍රියාවට නැංවීමේදී මතුවිය හැකි අභියෝග හඳුනා ගෙන තිබේ. මෙම කටයුත්තට රෝහල් කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් සහභාගි වූ බවත් ඒ පිළිබඳව ඔවුන් තුළ විශාල අපේක්ෂාවන් ඇති වී ඇති බවත් ඇය තව දුරටත් සඳහන් කළාය.

 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය

පොකුරු රෝහල් වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ ශ්‍රී ලංකා රජය  විසින් 2017 වසරේදී හඳුනාගනු ලැබූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියේ එක් අංගයක් වශයෙනි. ශ්‍රී ලංකාව අඩු පිරිවැයක් දරමින් වඩාත් ‍ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් රටේ පුරවැසියන්ට උරුම කර දී ඇති රටකි. මෙරට ජනතාවගේ ජීවිත අපේක්ෂිත ආයු කාලය අවුරුදු 75 වන අතර මාතෘ මරණ අනුපාතය සහ ළදරු මරණ අනුපාතය ද ඉතා පහල අගයක් ගනී.

සෞඛ්‍ය අමාත්‍යාංශය 2016 -2019 වසරවල නිකුත්කල වාර්තාවන්හි සඳහන් වන අන්දමට මෙරට බෝවෙන රෝග 95% ක් පමණ පාලනය කිරීමට සමත්ව තිබේ. මැලේරියාව, ක්ෂය රෝගය, පිටගැස්ම, ඩිප්තීරියාව, රුබෙල්ලා, සරම්ප, පෝලියෝ සහ බරවා වැනි රෝග මේ වන විට මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙවැනි විශාල ප්‍රගතියක් ලැබීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මෙරට ප්‍රාථමික සහ දිවිතීක  සෞඛ්‍ය සේවා වල ඉහළ ප්‍රමිතිය සහ කාර්යක්ෂමතාවයි. වර්තමාන  කොරෝනා වසංගතය පැතිර යාම සාර්ථකව පාලනය කිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ ද මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වල කාර්යක්ෂමතාව සහ ශක්තිමත් භාවයයි.

එනමුදු මෙරට ජනතාවගේ වෙනස් වන ජීවන රටාව, ආර්ථික සංවර්ධනය සහ නාගරීකරණය වැනි හේතු නිසා මෙරට මෙරට ජනයා බෝනොවන රෝගවලින් පීඩා විඳීම ඉතා බරපතළ ලෙස ඉහළ යමින් පවතී. දියවැඩියාව, හෘදයාබාධ පිළිකා, මානසික රෝග සහ නිදන්ගත  රෝග මේ ආකාරයට වර්තමානයේ මෙරට ජනයා මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටලු බවට පත්ව තිබේ. අධිපෝෂණය, තරබාරු බව, දුම්වැටි , මත්පැන් පානය, පරිසර දූෂණය සහ ව්‍යායාම හා නවීකරණය නොමැතිකම මෙම බෝ නොවන රෝග පැතිර යාමට බලපා ඇති සාධක වේ. 

මෙම බෝ නොවන රෝගවලින් මෙරට ජනයා රැක ගැනීමෙහිලා ප්‍රධානතම  භූමිකාවක් පැවරෙන්නෙ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශයටය. ජනතාවට වඩාත් සමීප ජනතාව අතර සිට නිවාස වලදී ,ප්‍රජා සායනවලදී සෞඛ්‍ය සේවා ලබාදීම, සහ සෞඛ්‍ය  සම්පන්න ජීවිතයකට මඟ පෙන්වීම ආදිය ප්‍රාථමික සෞඛ්‍ය ක්‍රියාකාරකම් මගින් සිදුවේ. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම, බෝ වන රෝග වලින් ප්‍රජාව ආරක්ෂා කර ගැනීම, ගර්භණී මව්වරුන් සහ ළමයින් රැකබලා ගැනීම, මාතෘ සහ පාසල් වෛද්‍ය සායන, පරිසර සහ ජීවන වෘත්තිය තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවස්ථාව ලබා දීම, මානසික සෞඛ්‍ය සංවර්ධනය සහ බෝ නොවන රෝග වැළඳීමෙන් ජනතාව වළක්වා ගැනීමට මගපෙන්වීම ,රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවා සැපයීම ආදිය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කාර්යන් අතර වෙයි.

මෙරට තිබෙන ප්‍රාථමික මහජන සෞඛ්‍ය සේවා ලබාදෙන ආයතන වන්නේ, ‍ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකක, A,B,C වර්ග වලට අයත් ප්‍රාදේශීය රෝහල් හා ඒ්කක මගිනි. සෞඛ්‍ය අංශවල වාර්තා වලට අනුව පසුගිය දශක දෙක තුළ මෙරට බෝනොවන රෝගීන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යෑම නිසා මහ රෝහල්වල රෝගී තදබදය ඉහළ ගොස්,  විශේෂඥ වෛද්‍යවරුන්ට විශේෂ සේවා අවශ්‍ය රෝගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අභියෝගයක් බවට පත්ව තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර  ගැනීමට අවස්ථාව තිබිය දී බොහෝ විට රෝගීන් එම රෝහල් පසුකර ඉතා ‍කුඩා  රෝගයකට වුවද ප්‍රතිකාර ගැනීමට මහ රෝහල් වෙත යොමු වන ආකාරය නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය වෙනස් කර මෙරට ප්‍රාථමික සහ ද්විතියික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ. මෙම අරමුණ පෙරදැරි කරගෙන ආසියානු සංවර්ධන බැංකුවේ  අරමුදල් සම්පාදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. පොකුරු සෞඛ්‍ය සේවා එහි  ප්‍රධානතම සංඝටකය වේ.

 

පොකුරු සෞඛ්‍ය සේවා

පොකුරු සෞඛ්‍ය සේවා මගින් සිදු වන්නේ ප්‍රාථමික රෝහල් කිහිපයක් සහ ද්වීතීයික රෝහලක් කණ්ඩායමක් ලෙස එකට සම්බන්ධ වී තෝරාගත්  ප්‍රජාවකට සෞඛ්‍ය පහසුකම් ලබා දීමයි. ඒ අනුව මූලික රෝහලක් වටා ප්‍රාදේශීය රෝහල්, ප්‍රාථමික මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන හා සහ අදාල සෞඛ්‍ය වෛද්‍ය  බල ප්‍රදේශ ජාල ගත කෙරේ. මෙම රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය ඒකක මගින් අදාල නිශ්චිත ග්‍රාම සේවා වසම්වල ජීවත්වන ජනතාව සේවා ලබා දෙන ඉලක්ක ජනතාව බවට පත් කර ගනු ලැබේ.

මෙම ගුණාත්මක සේවාවන් ලබා දිමට මූලික කරගත් පොකුරු රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ සංවර්ධනය කිරීම සිදුවේ. ඒ් අනුව එම රෝහල් වල රසායනාගාර පහසුකම්, ඖෂධ, උපකරණ ,මානව සම්පත් සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණික පහසුකම් ලබා දෙනු ලබනු අතර එම පහසුකම් පොකුරු ජාලය සමග හුවමාරු කර ගනු ලැබ්.එසේම මූලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් පොකුරු රෝහල්වලදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිතය.  

 

ජනතාවගේ  සෞඛ්‍යය තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක්

ප්‍රාදේශීය හෝ ප්‍රාථමික මහජන සෞඛ්‍ය  මධ්‍යස්ථානවල කාර්යය භාරය වන්නේ තම  ඉලක්ක ප්‍රජාව රෝග වැළදීමෙන් වළක්වා ගැනීම ,රෝගී වන ජනතාවට තම වාසස්ථාන වලට ආසන්නම රෝහල්වලින් ක්ෂණික සේවාවන් ලබාගැනීම, රෝගී තත්වයෙන් පසුව සුව වී නිවසට පැමිණෙන අයවලුන් රෝගී තත්වයන් වලින් පූර්ණ සුවය ලබා ගැනීම, අවශ්‍ය කාලය තුලදී රෝගීන් රැකබලාගැනීම, නිදන්ගත රෝගී තත්වවල අවසන් අවස්ථාවේ පසුවන තවදුරටත් රෝහල් වල රැකබලා ගැනීම අවශ්‍ය නොවන පුද්ගලයන් නිවෙස්වලදී රැකබලාගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීම යනාදිය වේ. මේ සදහා සේවා ලාභින්ගේ සෞඛ්‍ය දත්ත ඇතුලත් විද්‍යුත් දත්ත ගබඩාවක් පොකුරු රෝහල්වල ස්ථාපනය කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවලදී එම තොරතුරු සේවා සපයන්නන් හට භාවිතා කිරීමට ඉඩකඩ සැලසේ. මෙහිදී එම තොරතුරුවල රහස්‍ය බාවය ඉතා ඉහළ මට්මකින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

මූලික රෝහලේ සහ පොකුරු රෝහල් කණ්ඩායමේ තිබෙන රසායනාගාර පහසුකම් සහ ඖෂධ වර්ග පිළිබඳ දත්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් ඩිජිටල්කරණය කරනු ලබන අතර රෝහල් අතර රසායනාගාර සේවා සහ බෙහෙත් වර්ග හුවමාරු කර ගැනීමට එමඟින් අවස්ථාව ලැබේ.

මෙම පොකුරු රෝහල් වැඩසටහන නියමු ව්‍යාපෘතියක් වශයෙන් මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව පළාත්වල ක්‍රියාවට නැංවේ. මෙම ව්‍යාපෘති යටතේ පොකුරු සෞඛ්‍ය සේවා ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා මානව ම්පත් සංවර්ධනයට ද ප්‍රමුඛත්වය දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවකයින්ට පුළුල් පුහුණුවීම් අවස්ථා අවස්ථා හිමිකර දී ඇත.